ගෙදර වෙසක්

අපි පොඩි කාලේ ‘වෙසක් බලන්ට’ කවදාවත් නගරෙට ගියේ නෑ. ‘වෙසක් තොරන්’, ගැන මම දැනගත්තේ දිණමින පත්තරෙන්. වැඩිහිටි නැදෑයෝ ඉඳහිට ‘දන්සැල්’ ගැන විහිළු කළත් ඒවා හිතෙන් මවාගන්න මට බැරිවුනා. ඒ කාලේ මගේ වෙසක් අත්දැකීම ගෙදර සෑදූ වෙසක් කූඩු වලටත් ගමේ කඩෙන් ගත් ‘බකට්’ වලටත් සීමාවුනා.

ඒ අතින් අපේ ගෙදර වෙසක් ‘ස්වයංපූර්ණයි’ - සැරසිලි කරෙත් අපි, සැරසිලි නැරඹුවෙත් අපි.

වෙසක් සැරසීම් වලට ලෑස්තිය පටන්ගත්තේ වෙසක් පෝයට දවස් කීපෙකට ඉස්සරයි. උණ පඳුරෙන් කපාගත් කොටයක් පළා කෑලි වලට කැපීම වැඩි හිටියෝ බාරගත්තා. මේ කෑලි වලින් කූඩු හදන ‘කූරු’ ගා ගැනීම කූඩු හැදීම් ක්රියාවලියේ වැදගත් කොටසක්. පිහියක් පාවිච්චි කරමින් වෙසක් කූඩු වලට ‘කූරු ගෑමේ වරප්රසාදය’ කොයි වයසේදී අපිට ලැබුනාදැයි මට මතක නෑ.

කුඩා කූඩු වලට මිලිමීටර් තුනක් පමණ ගනකම ඇති කූරුත් විශාල කූඩු වලට මිලිමීටර් පහක් පමණ ගනකම ඇති කූරුත් පාවිච්චි කෙරුනා. කූඩුවේ විශාලත්වය වෙනස්වුනේ කූරු වල දිග අනුවයි.

එක ‘අටපට්ටම්’ කූඩුවකට කූරු විසිහතරකුත් ‘තරුවකට/තාරකාවකට’ කූරු දොලහකුත් අව්ශ්ය වුනා.
උණ බම්බුව පළල කපල කූරු ගාලා හරි ගණනට
කොටු හදලා එකට බැඳල අටපට්ටම් හැදෙන ලෙසට
පාප්ප ගා කොල අලවා රැලි කපලා එල්ලන්නට
ඉටි පන්දම් ගසා දල්වලා මිදුලේ බැබලෙන්නට
වෙසක් කූඩු සෑදීමේ වෘත්තාන්තය වගේම ගද්ය සහ පද්ය අතර වෙනසත් මේ කවියෙන් පෙන්වනවා.

වෙසක් කූඩුවේ උණ් බම්බුව බැබලෙන වෙසක් කූඩුවකට හැරෙව්වේ පේලි හතරක කවියක් ලියලා. ඒ පේලි හතරෙන් සම්පූර්ණ කතාව විස්තර කරා කියලා හිතන්න අමාරුයි. නමුත් පැහැදිලිව පෙනෙන අඩුපාඩුවකුත් කවියේ නෑ වගේ. මට හැඟෙන්නේ වෙනස ඇත්තටම තියෙන්නේ අපෙ මොලේ බවයි. කවියේ ඇති අඩුපාඩු මොලෙන් සපුරනවා ඇති. ඒ විදිහට බැලුවොත් එක් එක්කෙනා කවියෙන් හිතේ ඇඳගන්න චිත්රය වෙනස් - මා දකින ‘වෙසක් කූඩුව’ නෙවෙයි වෙන කෙනෙක් දකින්නේ.

එක්කෝ මේක ඇත්ත - නැත්නම් මට පිස්සු. දෙකෙන් කෝකද හරි කියලා සොයා බලන තරමට මට පිස්සු නෑ.

වෙසක් කූඩු වලට ‘කූරු ගෑම’ තනියම කරන දෙයක්. කිහිප දෙනෙක් එක කිට්ටුව වාඩිවෙලා මේ ක්රියාවේ යෙදුනත් ඒ සහයෝගීව නෙවෙයි. එකිනෙකා තම තමාට අවශ්ය කූරු ලෑස්ති කරගන්නේ භාවනාවේ යෙදෙන්නන් වගේ සිත සම්පූර්ණෙන්ම ක්රියාවට යොදවලා. ඉඳ හිට වචන කිහිපය හුවමාරු වුනත් දිග සංවාද සිදුවුනේ කලාතුරකින්.

තමාගේ ‘හුදෙකලා’ කූරූ ගෑම අවසාන වුන වහාම ‘මං ඉවරායි!’ නැත්නම් ‘මගෙ කූරු හරී!’ කියමින් නැගිට්ටත් එහෙම කිව්වේ හෙමින්. අනික් අයගෙ වැඩට කරදර නොකිරීම අපිට ඉබේම පුරුදු වෙලා වගේ.

පැටව් හතරක් සහිත අටපට්ටම් කූඩු සදන්නන්ට තමා වැඩිම වෙලාවක් ගියේ. අවශ්ය කූරු 120 අතරට කෙටි, තුනී කූරු 96කුත් දිගින් සහ ගනකමින් වැඩිකූරු 24කුත් අඩංගු වෙනවා. කූඩුවල විශාලත්වය රැඳී ඇත්තේ කූරු වල දිග අනුව නිසා කූඩු නිර්මාණයට මුලින්ම සිත යෙදීම වැදගත්. එහෙම නොකරොත් ‘පැටව් අම්මා වගේම ලොකුයි නේද?’ නැත්නම් ‘මුන් චූටි පැට්ව් ජාතියක් වගේ!’ වැනි වහසිබස් වලට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. මගේ මතකේ හැටියට මෙහෙම දෙයක් අපෙ ගෙදර සිද්ධවුනේ එකම එක් වරයි. ඒ පැටව් විශාල ගනණක් සමග තාරකා ‘රොත්තක්’ සැදීමට කළ උත්සාහයකදීයි. අන්තිමට ඒ තරු කිහිපයකට කොල ඇලවීමට වෙලාවත් මදිවුනා (හොඳ වෙලාවට ඒ වෙසක් එකට හොඳටම වැහැලා කොල අලවපු තරකා වලත් කොල දියබත් වෙලා ගැලවී වැටුනා).

වෙසක් කූඩු වල කොල ඇලවීමට ඉස්සර තව බොහොම දේ කරන්න තියෙනවා. එයින් මුල් වෙන්නේ ‘කූඩු සැකිලි’ සෑදීමයි.

උණ බම්බු වලින් ගාගත් කුඩා රිටි හැඩයේ කූරු අහුරා තබා ගැනීම ලේසි දෙයක්. මේ නිසා ඕනෑවට වැඩිය කූරු ගා ගත්තොත් අනාගත පාවිච්චියට තියාගන්නත් පුළුවන්. නමුත් අපි කවදාවත් එහෙම කළේ නෑ. වෙන එකක් තියා වෙසක් වලින් පස්සේ හදපු කූඩු වල කූරු වත් කොල ගලවලා ගබඩා කළේ නෑ. සෑම අවුරුද්දෙම අලුත් උණ බම්බුවක්, අලුත් කූරු, අලුත් කූඩු.

අටපට්ටම් කූඩුව සෑදෙන්නේ හරි හතරැස් කොටු හයක් එකට බැඳලා. ඒ අනුව, අටපට්ටම් කූඩුවක් සෑදීමේ පළමු අදියර මේ කොටු සෑදීමයි.

කූරු හතරක් කොටුවක හැඩයට තියලා ඒවගෙ කොන් නූල් වලින් එකට බැඳලයි අපි හතරැස් කොටු හැදුවේ. කුඩා හතරැස් කොටු (කුඩා කූඩු වලට) බඳින්න පාවිච්චි වුනේ රෙදි මහන්න පාවිච්චි කළ හීනි නූල්. ගෙදර මහන මැසිමෙන් නැත්නම් කඩෙන් ගෙනා නූල් කැරැල්ලකින් මේවා සැපයුනා. ලොකු කූඩු බැන්දේ ගනකම ඇති තෙල් ගාර නූලෙන්.

සිනිදු උණ කූරු එකට බැඳීමේදී ලිස්සා නොයන්න කූරු වල කොනේ පොඩි කට්ටයක් කැපුවා. සමහරවිට කූරේ කොන පොඩි දුරක් පළලා අංශක 90ට යා කරලා නූලෙන් බැන්දා.

සමහරවිට හතරැස් කොටු ටිකක් ඇද වෙන්න ඉඩ තියෙනවා, කූරුවල දිග, පැළ්ම/කට්ටේ හරි තැනින් නොතිබුනොත්. ඒ වගේම නූලෙන් බැදීමේ හරි වැරදි අනුව හතරැස් කොටුව බිම තැබූවිට නියමිත මට්ටමට නොසිටිය හැකියි. මෙ අඩුපාඩු දෙකම පහසුවෙන් නිවරැදි කර ගතහැකි වුනත් අපි එවැනි අඩුපාඩු දැක්කේ සාදන්නාට ‘මදි කමක්’ ලෙසයි.

වෙසක් තාරකා වර්ගයේ කූඩුවකට අවශ්ය කූරු 12ක් පමණයි. ඒවාගෙන් පළමුව හැදෙන්නේ සමපාද ත්රිකෝණ හතරක්. අටපට්ටම් කූඩු වලට හතරැස් කොටු බඳින ආකාරයටමයි තාරකා වලට මේ ත්රිකෝණ සාදා ගන්නේ.

හතරැස් කොටු වලින් අටපට්ටම් කූඩුත් සමපාද ත්රිකෝණ වලින් තාරකාත් ගොඩනැගීමට අපි පොඩි කාලෙම වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තා. කූඩු සැකිලි මෙන්ම ඒවා එල්ලීමට අවශ්ය කොකු, ඉටිපන්දම් තැබීමට අවශ්ය උණ් පතුරු වැනි සහායක කොටස් බැඳුනේත් මේ සමගයි. හුඟක් වෙලාවට මේ අදියරයේදී වැඩිහිටියෝ පොඩි අයට උදව් කරා. අනික් අතට කූඩු වලට කොල ඇලවීම තමා තමාම කරගත්තා - විවිධ මට්ටමේ සාර්ථකත්ව දක්වමින්.

වෙසක් කූඩු වලට ඇලවූ සව්කඩදාසි වලට අපි කිව්වේ ‘වෙසක් කොල / වෙසක් කඩදාසි’ කියලා; මං හිතන්නේ අපි ඒවගෙන් ගත්ත එකම ප්රයෝජනය නිසා වෙන්න ඇති. ගමේ කඩේ මේ කඩදාසි කොයි තරම් විසිතුරු පාට වලින් තිබුනත් අපි නිතරම මිලට ගත්තේ පාට කීපයක් පමණයි. සම්පූර්ණෙන්ම සුදු පාට කොල ඇලවූ කූඩු වල රතු හෝ නිල් පාටින් පටු තීරු (කූරු දිගේ) ඇලවීම අපේ ගෙදර සැදූ කූඩු වල සාමාන්ය අංගයක්.

කඩෙන් ගන්න වෙසක් කඩදාසි ගෙදර හදන කූඩු වලට අවශ්ය හැඩ/ප්රමාණ වලට කපා ගැනීමට වැඩිහිටි උදව් නැතුව බෑ. අටපට්ටම් කූඩුවකට අවශ්ය දිග පළලට හතරැස් කෑලි හතරකුත් ත්රිකෝණ කෑලි අටකුත් අවශ්යයි. තාරකාවකට අවශ්ය කැලි ඊටත් වඩා සංකීර්ණයි. අපේ වැඩිහිටියෝ මෙය ක්රමවත්ව කළෙත්, අපිට ක්රමය ඉගැන්නුවෙත් එක මත එක තැබූ කොල මිටියක් එක සැරේ කැපීමෙනුයි. ඒ ක්රමයෙන් එකම හැඩයට, දිග පළලට කොල කැපුනා. කොල මිටියේ ගනකම වැඩි වෙනකොට කපන කතුර පාවිච්චියට ශක්තිමත් වැඩිහිටි අත් අවශ්යවුනා. කූඩු වල එල්ලන රැලි කැපීමේදී කොල මිටි ගනකම කොපමණද කීවොත් එයට නියනකුත් අතකොළුවකුත් පාවිච්චි වුනා.

වෙසක් කඩදාසි කූඩු සැකිලි වල ඇලවීමට අපි පාවිච්චි කළේ පාන් පිටි වලින් හැදූ පාප්පයක්. මට මතක හැටියට මේ පාප්පය හැදුනේ පොල් කට්ටක් වගේ බාජනයක පිටිත් උනු වතුරත් මිශ්ර කිරීමෙන්. කඩෙන් ගන්න ‘ගම්’ වගේ පාප්ප කල් පැවතෙන්නෙ නෑ. සාමාන්යෙන් පාප්ප සාදාගන්නේ කොල ඇලවීමට ලෑස්ති වෙලා. කල් ගියොත් පාප්පය පාවිච්චියට සුදුසු නෑ - දවස් කීපයකින් ගඳ ගහන්නත් පටන් ගන්නවා.

මට යාන්තමට මතකයි නිල් පාට පාප්ප. මතක හැටියට මේ පාට ආවේ පල්මානික්කම් වලින් කියලා අපෙ පවුලේ අය කියන්නේ (මට මතක නැතිවුනාට); ඒ මීයෝ පාප්ප කෑම නැවතීමට කරන දෙයක්. අනික් අතට කෑමට පෙර පල්මානික්කම් හඳුනා ගැනීමේ රසායනික පරීක්ෂණ මීයෝ දැන හිටිය බවක් පොත පතේ සඳහන් වෙලා නෑ.

කොල ඇලවූ පාප්ප වේලී ගිය පසු කූඩු පාවිච්චියට ලෑස්තියි. නමුත් ඒවා වෙසක් රාත්රියේ එල්ලන තැන් සැකසුම් කිරීමත් වැදගත් බව අපි දැනගෙන හිටියා. මිදුලේ කොනේ ගස් වලත්, ගස් අතර ඇදි ලනු වලත් කූඩු එල්ලීම සාමාන්ය පුරුද්දක් වුනත් ලොකු කූඩු, විශේෂයෙන්ම ‘පැටියෝ සහිත’ කූඩු, වලට වෙනම උණ ගහකින් කැපූ මීටර් හතරක් පමණ උස රිටක් පාවිච්චි වුනා. ඇදයට හිටවූ රිටෙන් එල්ලෙන ලොකු කූඩු ගස් මුවාවෙන් ඈත්වී බැබලෙනවා බලා අපි ලොකු සතුටක් ලැබුවා.

ගෙදර සෑදූ කූඩු එල්ලීමට තරමටම කඩෙන් ගත් ‘බකට්’ එල්ලීමට අපි මහන්සිවුනේ නෑ. මිදුල අයිනේ ගස් වලත්, ගස් අතර ඇදි ලනු වලත් හැර වෙන ක්රමයකට බකට් එල්ලුවා මට මතක එකම සැරයයි. එදා වත්තෙන් කපාගත් මීටර් දෙකක් පමණ උස අතු තුනක් මිදුලේ සමදුරෙන් හිටවලා ඒවාගෙයි බකට් එල්ලුවේ. ඒ අතු මොන ගහෙන් ආවද මට මතක නෑ (දවට ගහක් කියලා සමහරවිට හිතෙනවා). මුල අතක් පමණ මහත, ඇද නැති කඳන් වලින් හරස් අතු ගනසැරේට මීටරයක් පමණ වට රවුමට හැදිලා තිබුනා. මේ හරස් අතු වල පාට පාට බකට් එල්ලුවේ අඳුර වැටීගෙන එන වෙලාවේ.

අහස අඳුරුවී පුර හඳ ගම එලිය කරන වෙලාවේ අපේ මිදුල සුර පුරක් වගේ අපිට පෙනුනා. වැඩ දැමූ සුදු අටපට්ටම් කූඩු, ඒවාට වඩා පාටින් පෙනුම ඇති තාරකා, පාට පාට බකට්… වෙනදා ගස් වලින් අඳුරු වන මිදුල අද සැනකෙලි භූමියක් වගේ.

වෙසක් සැරසිලිත්, පුර හඳත් ඉක්මවා ගෙදරට එලිය ගෙනාවේ ගෙවැසියන්ගේ සතුටු මුහුණු වලින් බවයි මගේ මතකය තවමත් කියන්නේ.

……………………………

මේ අවුරුද්දේ වෙසක් පෝයට මම එක කූඩුවක් හදලා දැල්වුවා. හැබැයි ඒකේ පින්තූරයක් අරගෙන ‘ෆේස්බුක්’ එකට දාලා ‘ෆේස්බුක් මිතුරන්’ එවන ‘කොමෙන්ට්’ සහ ‘ලයික්’ වලින් යම්කිසි සතුටක් ලැබුවද නැද්ද දැන් මට මතක නෑ.